ඉගෙනුම් කාර්ය සාධන
ගොනුව
කාර්ය සාධන ගොනුවට වෘත්තීය සහ
පුද්ගලික වර්ධනයක් පෙන්නුම් කිරීමට, සාක්ෂි පදනම් කරගත් භාවිතයන් නිදර්ශනය කිරීමට සහ අනාගත
වෘත්තීය සංවර්ධන අවශ්‍යතා සහ අත්දැකීම් සඳහා සැලසුම් අවකාශයක් සැපයීමට හැකියාව ඇත.
ප්‍රත්‍යාවේක්ෂ ජර්නලය ඵලදායී ඉගෙනුම් මෙවලමක්
ලෙස සිසුන්ගේ දැනුම ගොඩනැගීමට සහාය වීම, ඉගෙනීමේ ක්‍රියාවලියේ වෙනත් නොපෙනෙන අංග දෘශ්‍යමාන කිරීම
නිසා, ඉගෙන ගන්නන්ගේ
අභිප්‍රේරණය වර්ධනය කරයි. මෙහිදී ඔවුන්ගේ
වඩාත්ම වැදගත් ඉගෙනුම් අත්දැකීම් සංවිධානය කිරීමට, ලේඛනගත කිරීමට සහ ප්‍රදර්ශනය කිරීමට ඉඩ දෙයි. කාලයත් සමඟ
කළඹක් නිර්මාණය කිරීමේ සහ ගොඩනැගීමේ පරාවර්තක ඉගෙනුම් ක්‍රියාවලිය ඔවුන්ගේ ඉගෙනීම
ගැඹුරු කරන අතර ඕනෑම ප්‍රේක්ෂකයෙකුට ඉගෙනීම දෘශ්‍යමාන කරන ගතික නිෂ්පාදනයක් ලබා
දෙයි.
කාර්ය සාධන ගොනුව ඉගෙනුම
නිවැරදිව හඳුනා ගැනීමට, ඉගෙනුම වාර්තා කර තබා ගැනීමට, ඉගෙනුම සිදු කළ ආකාරය
පිළිබිඹු කිරීමට, ඉගෙනුම වලංගු කිරීමට, නව ඉගෙනුම් සැලසුම් කිරීමට හා ඉගෙනුම
තක්සේරු කිරීමට වැදගත්වේ.
පාඨමාලාවේ සමස්ත ප්‍රත්‍යාවේක්ෂණය
STP9540
ගුරු අධ්‍යාපනපති
වැඩසටහනේ පළමු සමාසිකයේ පළමු පාඨමාලාව වූයේ ගුරු අධ්‍යාපනඥයා ඉගෙනුම් ඉගැන්වීම් විශේෂඥයෙකු ලෙස (STP9540) යන
පාඨමාලාවයි. මෙම පාඨමාලාව අධ්‍යයනයෙන් ඉගෙනුම් ඵල 5 ක් ළඟා කර ගත යුතු අතර, ඒ සඳහා
විවිධ ක්‍රියාකාරකම් සිදු කරන ලදි. මේ යටතේ කුඩා පරිමාණ ව්‍යාපෘති 3ක් සම්පූර්ණ කර
අදාළ ඉගෙනුම් ඵල කරා ළඟා වන ලදි. ප්‍රථමයෙන් වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ගති ලක්ෂණ හා
ඔවුන්ගේ ඉගෙනුම් ශෛලීන් හඳුනා ගැනීමට දින පාසල, සම්පත් ද්‍රව්‍ය, අන්තර්ජාල
පරිහරණය උපකාරී වූ අතර, ඉන් පසු ගුරු සිසුන් සඳහා පාඩම් සැලසුමක් සකස් කරන ලදි. ඝන
අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා එක් කාලච්ඡේදයකට පාඩම් සැලසුමක් සකස් කර එය දින පාසලේදී
ඉදිරිපත් කර ප්‍රතිපෝෂණය ලබා ගන්නා ලදි. අනතුරුව පාඩම් සැලසුමට තක්සේරුකරණ
උපායමාර්ග හා ප්‍රතිපෝෂණ ක්‍රියාමාර්ග ඇතුළත් කර පාඩම තවදුරටත් සංවර්ධනය කරන ලදි.
සමස්ත ක්‍රියාවලිය තුළදීම කථිකාචාර්යවරුන්ගෙන්, සමපදස්ථයන්ගෙන් ලද සහායෙන් ඇතිවූ
අභියෝග ජය ගැනීමට හැකිවූ බව හැඟුණි.
STP9541
මෙම වැඩසටහනේ පළමු
සමාසිකයේ ගුරු අධ්‍යාපනඥයා විෂයමාලා
සම්පාදකයෙකු ලෙස (STP9541) යන පාඨමාලාව මා හට ඉතා වැදගත් පාඨමාලාවකි. මෙහි
ඉගෙනුම් ඵල 5ක් හා කුඩා පරිමාණ ව්‍යාපෘති 3ක් ඇති අතර, එහි ප්‍රථම පියවර ලෙස
විෂයමාලා නිර්වචනය, න්‍යාය හා ප්‍රවේශ පිළිබඳව ගවේෂණය කරන ලදි. දෙවනුව දැනට
පද්ධතියේ පවතින විෂ්‍යමාලාවක් සමාලෝචනය කර වාර්තාවක් සකස් කිරීමට අවස්ථාවක් හිමි
විය. මෙහිදී 6 ශ්‍රේණිය විද්‍යාව විෂයමාලාවේ ප්‍රබලතා, දුබලතා හා සංවර්ධනය විය
යුතු කරුණු පිළිබඳව මනා අවබෝධයක් ලද බව වැටහුණි. දී ඇති තේමාවලින් මා තෝරා ගත්
පරිසරය සුරැකීම හා තිරසර සංවර්ධනය යන තේමා පදනම් කරගෙන පරිසර කළමනාකරණය නමින් නව
සංවර්ධනය කිරීමට අවශ්‍යතා විශ්ලේෂණයක් සිදු කරන ලදි. ඒ අනුව සකස් කර ගත් ක්‍රියාකාරී
සැලැස්මට අනුව විෂයමාලාව සංවර්ධනය කිරීමට හැකිවූ බව හැඟුණි. මෙම විෂයමාලාව
සමපදස්ථයන්ගෙන් ලද යෝජනා අනුව සංශෝධනය කළ අතර විෂය ප්‍රවීනයන්ගෙන් ලද නිරීක්ෂණ හා
යෝජනා අනුව ද සංශෝධනයට ලක් කරන ලදි. අවසානයේදී නව විෂයමාලාව ක්‍රියාත්මක කිරීමේ
සැලැස්මක් සකස් කර අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීම සඳහා චක්‍රලේඛයක් ද සකස්
කරන ලදි. නිවැරදිව සැලසුමක් සකස් කර ගනිමින් ක්‍රමානුකූලව ක්‍රියාකාරකම්වල යෙදීම
නිසා මා හට විෂයමාලාවක් සම්පාදනය කිරීමේදී ඇතිවූ අභියෝග ජය ගැනීමට හැකිවූ බව
හැඟුණි. තවද සමපදස්ථයන්, කථිකාචාර්යවරුන්, ගුරුවරුන් හා විෂය ප්‍රවීනයන්ගෙන් ලද
සහාය මත මෙම පාඨමාලාවේ ඉගෙනුම් ඵල කරා ළඟා වීමට හැකිවූ බව ද හැඟුණි.
STP9542
වැඩසටහනේ පළමු සමාසිකයේ
තෙවන පාඨමාලාව ලෙස ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන තාක්ෂඥයෙකු ලෙස (STP9542) යන පාඨමාලාව තවත් එක්
සුවිශේෂී පාඨමාලාවක් ලෙස මා හට හැඟුණි. මෙහි ඉගෙනුම් ඵල 5ක් හා කුඩා පරිමාණ ව්‍යාපෘති
3ක් ඇතුළත්ය. ප්‍රථමයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඵලදායී සන්නිවේදන ක්‍රියාවලියක්
බවට පත් කිරීම සඳහා යොදා ගත හැකි නවෝත්පාදන උපායමාර්ග සම්බන්ධයෙන් ගවේෂණය කරන ලදි.
තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය භාවිතයේ වැදගත්කම හා TPACK රාමුව පිළිබඳව හදාරන ලද
අතර සංකල්ප සිතියමක් සකස් කරන ලදි. අනතුරුව තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍යයක්
සංවර්ධනය කරන ලද අතර, මා ඒ සඳහා 10 වන ශ්‍රේණිය විද්‍යාව විෂයයේ සෛලයේ ව්‍යුහය හා
ඉන්ද්‍රයිකාවල කෘත්‍යය යන පාඩම තෝරා ගන්නා ලදි. අවශ්‍ය බහු මාධ්‍ය ඉගෙනුම් ද්‍රව්‍ය
රැස් කර ගත් අතර ඒවා යොදා ගෙන Blogger මෘදුකාංගය භාවිතයෙන් Blog එකක් සකස් කරන ලදි.
එහිදී කථිකාචාර්යවරයාගෙන් හා සමපදස්ථයන්ගෙන් ලද සහාය අතිමහත් බව හැඟුණි. තවද
තාක්ෂණය භාවිතයේදී ඇතිවූ අභියෝග ජය ගැනීම සඳහා ස්වයං අධ්‍යයනය ඉවහල් වූ බව හැඟුණි.
ඉන් පසු මෙම ඉගෙනුම් ද්‍රව්‍ය සිසුන් 30 දෙනෙකුට අධ්‍යයනය සඳහා ලබාදී නිරීක්ෂණ ලබා
ගන්නා ලදි. එම නිරීක්ෂණ විශ්ලේෂණය කර power point මෘදුකාංගය ආධාරයෙන් දින
පාසලේදී ඉදිරිපත් කරන ලද අතර ප්‍රතිපෝෂණය ලබා ගන්නා ලදි. මෙහිදී මා ලබා ගත් දැනුම
මාගේ ඉදිරි රාජකාරි කටයුතුවලට මනා රුකුළක් වන බව මා හට හැඟුණි.
STP9846
ඉගෙනුම් කාර්ය සාධන
ගොනුව (STP9846) යන පාඨමාලාව සමාසික දෙක පුරාවටම පැතිර ඇත. මෙහිදී සියළුම පාඨමාලා
හැදෑරීමෙන් ඉගෙනුම් ඵල කරා ළඟා වූ ආකාරය ප්‍රත්‍යාවේක්ෂණය කරමින්, ඒ සඳහා සාක්ෂි
ඉදිරිපත් කරමින් ආපසු හැරී බැලීම සිදුවේ. ඒ ඒ පාඨමාලා හැදෑරීමේ දී ඇතිවූ අභියෝග හා
ඒවා ජය ගත් ආකාරය පිළිබඳව කාර්ය සාධන ගොනුවට ඇතුළත් කරන ලදි. මෙය මා හට නව
අත්දැකීමක් වූ බැවින් ආරම්භයේදී මේ සඳහා වැඩි උනන්දුවක් නොතිබූ අතර,
කථිකාචාර්යවරයාගෙන් හා සමපදස්ථයින්ගෙන් ලද සහාය අනුව මෙය මා හට ඉගෙනුම සාර්ථක කර
ගැනීම සඳහා යොදා ගත හැකි උපායමාර්ගයක් බව වැටහුණි.

No comments:
Post a Comment