මුල් පිටුව

ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන තාක්ෂණඥයෙකු ලෙස (STP9542)

 

ගුරු අධ්‍යාපනයා අධ්‍යාපන තාක්ෂණයෙකු ලෙස (STP9542)

ඉගෙනුම් ඵලය1

ඉගෙනුම හා ඉගැන්වීම ඵලදායී සන්නිවේදන ක්‍රියාවලියක් බවට පත් කිරීම සඳහා උපාය    මාර්ග ගවේෂණය

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඵලදායී සන්නිවේදන ක්‍රියාවලියක් බවට පත් කිරීම සඳහා විවිධ උපාය මාර්ග භාවිත කළ යුතු බවට අවබෝධයක් තිබුණු බව හැඟුණි. ඒ සඳහා යොදා ගත හැකි නව්‍ය උපාය මාර්ග පිළිබඳ දින පාසලෙන් (ඇමුණුම 1) , දී ඇති ඉගෙනුම් ද්‍රව්‍ය වලින්, ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ සාකච්ඡා මණ්ඩපයෙන් ලද දැනුම (ඇමුණුම 2) සහ අන්තර්ජාලයෙන් (ඇමුණුම 3) තොරතුරු සොයා ගන්නා ලදි. ඒ අනුව ඉගෙනුම ඵලදායී සන්නිවේදන ක්‍රියාවලියක් බවට පත් කිරීම අත්‍යාවශ්‍ය වන බවත් ඒ සඳහා නව්‍ය ක්‍රියාමාර්ග හෝ තාක්ෂණය වඩාත් ඵලදායී ව භාවිත කළ හැකි බවත් හැඟුණි. මෙවැනි සමහර උපාය මාර්ග පෙර පැවති ගුරු පුහුණු වැඩසටහන්වල දී භාවිත කළ ද, සමහර තාක්ෂණික උපක්‍රම භාවිතයට අවශ්‍ය යටිතල පහසුකම් ගුරු පුහුණු සැසි පවත්වන ස්ථානවල නොමැති බැවින් ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග භාවිත කළ යුතු බව හැඟුණි. ඵලදායී සන්නිවේදන ක්‍රියාවලියකදී ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර අදහස් හුවමාරු විය යුතු අතර ගුරුවරයා විසින් සිසුන්ට සාර්ථක ලෙස ප්‍රතිපෝෂණය ලබා දිය යුතු බව හැඟුණි.

මෙහිදී සන්නිවේදනය සඳහා වඩාත් උචිත ක්‍රමවේද භාවිතය මෙන්ම තාක්ෂණය භාවිතය ද වැදගත් වන බව වැටහුණි. මෙහිදී අන්තර්ජාලය, ඉගෙනුම් කළමනාකරණ පද්ධති භාවිතය මෙන්ම වීඩියෝ ආදිය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍යතාව පරිදි භාවිත කළ යුතු බව හැඟුණි. පාසල්වල පවතින සම්පත් සමාන නොවන බැවින් ඵලදායී සන්නිවේදනයේදී ඒ පිළිබඳ ක්‍රමවේද අනුගමනය කිරීමේදී ගැටළු ඇතිවිය හැකි බවත් එම ගැටළු කළමනාකරණය කර ගැනීමට විකල්ප උපාය මාර්ග භාවිත කළ යුතු බවත් වැටහුණි. ඒ අනුව ඵලදායී සන්නිවේදනයේ නව්‍ය ක්‍රියාමාර්ග ලෙස ව්‍යාපෘති පාදක ඉගෙනීම, සිද්ධි පාදක ඉගෙනීම, විමසීම් පාදක ඉගෙනීම, මිශ්‍ර ඉගෙනුම, ගැටළු පාදක ඉගෙනීම, සුතත්‍ය ඉගෙනීම, අන්තර් ක්‍රියාකාරී ඉගෙනුම, අනුවර්තන ඉගෙනුම හා කෘත්‍රීම බුද්ධිය ආදිය යොදා ගත හැකි බව වැටහුණි. පන්ති කාමරය තුළ නව්‍ය ඉගැන්වීම් උපාය මාර්ග අනුගමනය කිරිමෙන් සිසුන්ට ඉගෙනුම් ඵල අත්පත් කර ගැනීම පහසු කරන අතර එමගින් වඩාත් සාර්ථකව හා ඵලදායීව ඉගෙනීම ප්‍රවර්ධනය කිරීමට හැකියාව ඇතිවන බව වැටහුණි. නව්‍ය ඉගෙනුම් උපාය මාර්ග භාවිතයෙන් සිසුන්ගේ අභියෝගවලට මුහුණදීමේ, ගැටලු විසදීමේ හා තර්කන හැකියාව, නිර්මාණශීලීත්වය වර්ධනය වීම, මෘදු කුසලතා සංවර්ධනය වීම හා තමාගේ ඉගෙනුම් ශෛලියට ගැලපෙන ආකාරයේ ඉගෙනුම් අවස්ථා තෝරා ගැනීමට ද සිසුන්ට හැකියාව ඇතිවන බව හැඟුණි.

ඵලදායී සන්නිවේදනය හා ඉගෙනුම සඳහා නව්‍ය උපායමාර්ග අනුගමනය කිරීම පිළිබඳ මා ලද අත්දැකීම් අනුව ඉදිරියේ දී මා හට පුහුණු සැසි පැවැත්වීමේදී මෙවැනි ක්‍රියාකාරකම් යොදා ගෙන සාර්ථක ලෙස පුහුණු සැසි සංවිධානය කර ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබී ඇති බව හැඟුණි. තවද මෙවැනි උපායමාර්ග පිළිබඳව ගුරුවරුන් හා ගුරු උපදේශකයන් දැනුවත් කිරීමෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායී මට්ටමකට රැගෙන ඒමට කටයුතු කළ හැකි බව හැඟුණි

 

ඇමුණුම 1


ඇමුණුම 2



ඇමුණුම 3



 

ඉගෙනුම් ඵලය 2

තාක්ෂණික ශික්ෂණ ශාස්ත්‍රීය අන්තර්ගත දැනුම රාමුව (TPACK) යොදා ගෙන තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍යයක් සැලසුම් කිරීම

තාක්ෂණික ශික්ෂණ ශාස්ත්‍රීය අන්තර්ගත දැනුම රාමුව පිළිබඳ මීට පෙර දැනුවත්ව නොසිටිය ද, මෙහි අන්තර්ගත ක්‍රියාකාරකම් ගුරු පුහුණු සැසිවල දී යොදා ගත් බව හැඟුණි. මෙවැනි රාමුවක් ක්‍රමානුකූලව  හැදෑරීමෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ සංරචක වන ඉගෙනුම සුසාධ්‍යකරණය, ඇගයීම, තක්සේරුකරණය හා වාර්තා තබා ගැනීම ඉතා පහසු වන බවත්, එමගින් කාලය කළමනාකරණය කර ගත හැකි බවත් හැඟුණි. මීට පෙර මෙම රාමුව පිළිබඳ ව අවබෝධයක් ලැබී තිබුණි නම් ගුරු පුහුණු වැඩසටහන් වඩාත් ක්‍රමානුකූල ව, ඵලදායී ව, කාල කළමනාකරණයකින් පැවැත්වීමට හැකියාව තිබුණේ  යැයි හැඟුණි.

තාක්ෂණික ශික්ෂණ ශෘස්ත්‍රීය අන්තර්ගත දැනුම රාමුව පිළිබඳ දින පාසලෙන් (ඇමුණුම 1), අන්තර්ජාලය පරිශීලනයෙන් (ඇමුණුම2), හා ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිශීලනයෙන් (ඇමුණුම 3) ලබා ගත් දැනුම හා සමපදස්ථයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර (ඇමුණුම 4) පාඩම් සැලසුමක් සකස් කර ගැනීමේදී වඩාත් ප්‍රයෝජනවත් වූ බව හැඟුණි. සෛලය හා ඉන්ද්‍රයිකාවල ක්‍රියාකාරකම් යන පාඩම සඳහා TPACK රාමුව ද සැළකිල්ලට ගෙන සංකල්ප සිතියමක් නිර්මාණය කරන ලදි. මෙහිදී ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා අන්තර්ගතය, තාක්ෂණය හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේද යොදා ගන්නා ආකාරය පිළිබද විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයි හැඟුණි. ඉන්පසු ඉගෙනුම පිළිබඳ සවිස්තරාත්මක වගුව සකස් කිරීමේදී ද මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව හැඟුණි.  අන්තර්ගත දැනුම ලෙස පාඩම සම්බන්ධයෙන් ගුරුවරයා සතු  දැනුම හඳුනා ගත හැකි අතර, එම දැනුම ලබා ගැනීමට ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ, අතිරේක කියවීම් ද්‍රව්‍ය හා අන්තර්ජාලයෙන් ලද දැනුම හඳුන්වා දිය හැකි බව හැඟුණි. ඉගෙනුම් ක්‍රමවේද හෝ ශික්ෂණ විද්‍යාව පිළිබඳ දැනුම පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හැදෑරීමෙන්, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනය සඳහා පවත්වනු ලබන සැසි ආදියට සහභාගී වීමෙන් ලබා ගත හැකි බව වැටහුණි. අන්තර්ජාලය භාවිතයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායී ලෙස ඉටු කර ගැනීමටත් පාසලේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය භාවිතය, එම පද්ධතිය සඳහා අන්තර් ක්‍රියාකාරී ක්‍රියාකාරකම් ඇතුළත් කිරීම, සාකච්ඡා මණ්ඩප සැලසුම් කිරීම, ඇගයීම සඳහා ඇගයීම් උපකරණ සකස් කිරීම, සිසුන්ට මාර්ගගතව ඉගෙනුම සිදු කිරීමට ආධාර කිරීම මෙන්ම මාර්ගගතව සිසුන් ඇගයීමට හා ප්‍රතිපෝෂණයට අදාළ තාක්ෂණික දැනුම තිබිය යුතු බව වැටහුණි.

ඉදිරියේ දී පවත්වන ගුරු පුහුණු සැසි හා  විද්‍යාගාර සේවක පුහුණු වැඩසටහන්වල දී  TPACK රාමුව වඩාත් ඵලදායී ව භාවිත කළ හැකි බවත්, එමගින් ගුරුවරුන්ට වඩාත් පහසුවෙන් අදාළ සංකල්ප හා ප්‍රායෝගික පුහුණුවීම් ලබා දිය හැකි බවත් හැඟුණි. සම්පත්දායකයන් ලෙස කටයුතු කරනු ලබන ආයතනයේ නිලධාරීන්ද TPACK රාමුව පිළිබඳ ව දැනුවත් කළ හැකි බවත්, එමගින් පුහුණු වැඩසටහන්වල දී මනා දායකත්වයක් ලබා දිය හැකි බවත් හැඟුණි.

 

ඇමුණුම 1

 


ඇමුණුම 2



ඇමුණුම 3

 


ඇමුණුම 4



ඉගෙනුම් ඵලය 3

සුදුසු බහු මාධ්‍ය සමෝධානය කරමින් තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය සඳහා අර්ථාන්විත ඉගෙනුම් අත්දැකීම් නිර්මාණය කිරීම

තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය භාවිත කර තිබුණ ද එවැනි ඉගෙනුම් ද්‍රව්‍යයක් නිර්මාණය කිරීම සඳහා දැනුමක් නොතිබුණු බව හැඟුණි. සමහර අවස්ථාවල දී භාවිත කරන ලද ඉගෙනුම් ද්‍රව්‍ය සකස් කර ඇති ආකාරය ගැන මීට පෙර  නොසිතුව බව ද හැඟුණි. මෙවැනි ඉගෙනුම් ද්‍රව්‍යයක් සකස් කිරීමේ දී සලකා බැලිය යුතු කරුණු හා ඒ සඳහා අවශ්‍ය සම්පත් සොයා ගැනීම පිළිබඳව දින පාසලෙන් ලද දැනුම අනුව යම් තරමක අවබෝධයක් ලද බව හැඟුණු අතර තමා විසින්ම එවැනි ඉගෙනුම් ද්‍රව්‍යයක් සකසා ගැනීමෙන් අත්වන වාසි පිළිබඳව අවබෝධයක් ලැබුණු බව හැගුණි.

ඉගෙනුම් ද්‍රව්‍ය සකස් කිරීමේ දී සලකා බැලිය යුතු කරුණු යටතේ ADDIE ආකෘතිය, උපදේශන සැලසුම් ආකෘතිය වැනි ආකෘති පිළිබඳව අවබෝධයක් දින පාසලෙන් ලද බව හැඟුණි. මෙම ආකෘති පිළිබඳ වැඩිදුර විස්තර අන්තර්ජාලය පරිහරණයෙන් ලබා ගත් අතර (ඇමුණුම 1) එම ඉගෙනුම් අත්දැකීම් ඉගෙනුම් ද්‍රව්‍ය නිර්මාණ කාර්යයේ දී මහත් රුකුලක් වූ බව හැඟුණි. ඉගෙනුම් ද්‍රව්‍ය සකස් කිරීමේ දී බහු මාධ්‍ය යොදා ගැනීමේ වැදගත්කම, ඵලදායී ආකාරයට බහු මාධ්‍ය තෝරා ගන්නා ආකාරය පිළිබඳ අවබෝධය වඩාත් තහවුරු වූ බව හැඟිණි. ඉගෙනුම් ද්‍රව්‍ය සකස් කිරීමේ දී (ඇමුණුම 2) සුදුසු පසුබිමක් තෝරා ගැනීම, වර්ණ, අකුරු වර්ග තෝරා ගැනීම පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු යැයි සකස් කරන ලද ඉගෙනුම් ද්‍රව්‍ය අධ්‍යයනයෙන් හැඟිණි. ඉගෙනුම් ද්‍රව්‍යයක් සකස් කිරීමේ දී විවෘත අධ්‍යාපනික සම්පත් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා අන්තර්ජාලය අධ්‍යයනය කළ යුතු යැයි හැඟිණි. ඒ සඳහා අන්තර්ජාලය භාවිතයෙන් එම සම්පත් භාවිත කළ හැකි ආකාරය පිළිබඳව දැනුවත්භාවයක් ලැබුණේ යැයි හැඟිණි. (ඇමුණුම 3) මෙම කාර්යයේදී සමපාදස්ථයින්ගෙන් ද නොමද සහායක් ලැබුණු බව හැඟිණි. තක්සේරුකරණ ක්‍රියාකාරකම් සකස් කිරීම සඳහා Hot potato මෘදුකාංගය (ඇමුණුම 4) භාවිත කිරීමට ස්වයං අධයයනය කරන ලද අතර එය ඉගෙනුම් ද්‍රව්‍ය සකස් කිරීමේදී ප්‍රයෝජනවත් වූ බව හැඟුණි.

මෙවැනි තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් අත්දැකීම් නිර්මාණයට පූර්වයේ දී දැනුවත්ව සිටියා නම් ගුරු පුහුණු වැඩසටහන් වලදී මා විසින්ම සකස් කරන ලද එවැනි ඉගෙනුම් ද්‍රව්‍ය භාවිතයෙන් වඩාත් ඵලදායී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් පවත්වාගෙන යාමට තිබුණේ යැයි හැඟිණි. ඉදිරි පුහුණු අවස්ථා සඳහා භාවිත කිරීමට තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය මා විසින්ම සකස් කර ගෙන භාවිත කිරීම වඩාත් උචිත යැයි හැඟුණි. විශේෂයෙන්ම Covid 19 තත්ත්වය යටතේ සිදු කරන ලද දුරස්ථ ගුරු පුහුණු වැඩසටහන් වලදී මෙවැනි ස්වයං අධ්‍යයනය කළ හැකි ඉගෙනුම් ද්‍රව්‍ය සකස් කර ගුරුවරුන්ට හා සිසුන්ට ලබා දීමට දැනුවත්ව සිටියේ නම් වඩාත් වැදගත් වනු ඇතැයි මා හට හැඟිණි. වර්තමානයේ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් ගුරු පුහුණු වැඩසටහන් භෞතිකව පැවැත්වීමට ඇති අවස්ථා අඩු බැවින් මෙවැනි ඉගෙනුම් ද්‍රව්‍ය සකස් කර ගුරුවරුන්ට ලබා දීම සහ මෙවැනි ඉගෙනුම් ද්‍රව්‍ය සකස් කිරීමට මා ලබා ගත් දැනුම ගුරුවරුන්ට ලබා දී එමගින් ඔවුන් ලවා තාක්ෂණ‌ෙයන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය සකස් කිරීම මගින් පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම හා ඵලදායී ව සිදු කළ හැකි බවත් හැඟිණි. මීට අමතරව ජාතික අධ්‍යාපන ආයතනය සමඟ සිදු කරන විෂයමාලාව සම්බන්ධ කටයුතුවල දී වඩාත් ඵලදායී ඉගෙනුම් ද්‍රව්‍ය නිර්මාණය කිරීමට අනාගතයේ දී දායක විය හැකි බව හැඟිණි.

ඇමුණුම 1



ඇමුණුම 2



ඇමුණුම 3



ඇමුණුම 4



 

 ඉගෙනුම් ඵලය 4

තෝරාගත් මෘදුකාංග භාවිත කර තාක්ෂණයෙන් හෙබි  ඉගෙනුම් ද්‍රව්‍ය සංවර්ධනය කිරීම

තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය භාවිතය පිළිබඳ තරමක අවබෝධයක් තිබුණ ද විවිධ මෘදුකාංග භාවිත කර ඉගෙනුම් ද්‍රව්‍යයක් සංවර්ධනය කිරීම පිළිබඳව කිසිදු දැනීමක් මා හට නොතිබුණු බව හැඟිණි. රාජකාරී කටයුතුවල දී විෂය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී මෙවැනි ඉගෙනුම් ද්‍රව්‍යයක් සංවර්ධනය කිරීම පිළිබඳ මනා දැනුමක් තිබුණේ නම් වඩා ඵලදායීව කටයුතු කිරීමට හැකිව තිබුණේ යැයි හැඟිණි. මෙම කාර්යයේ දී තාක්ෂණය භාවිත කිරීමේ දී මා තුළ යම් පසුගාමී බවක් ඇති බව ද හැඟිණි.

දින පාසලේ දී ලද දැනුම (ඇමුණුම 1) හා පාඨමාලාවේ සපයා ඇති ඉගෙනුම් ද්‍රව්‍ය පරිශීලනයෙන් (ඇමුණුම 2) ලද දැනුම අනුව ඉගෙනුම් ද්‍රව්‍යයක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් යම් ප්‍රමාණයක අවබෝධයක් ලද බව හැඟිණි. තව ද අන්තර්ජාලය පරිහරණයෙන් (ඇමුණුම 3) තවදුරටත් නිරාකරණය කර ගැනීමට තිබුණු තාක්ෂණික ගැටලු මග හරවා ගැනීමට හැකිවූ බව හැඟිණි. සමපාදස්ථයන් සමග පැවති සාකච්ඡා තවදුරටත් මෙම කාර්යයය සාර්ථක කර ගැනීමට ඉවහල් වූයේ යැයි හැඟිණි.

තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය සැලසුම්කරණය සඳහා ඉගෙනුම් අත්දැකීම් සකස් කර ගැනීමටත්, ඒ සඳහා ගැළිම් සටහන් සකස් කිරීම පිළිබඳව සහ කථා රාමු පෙළ සකස් කිරීම පිළිබඳව තිබූ ගැටලු අන්තර්ජාලය පරිහරණයෙන් හා සමපාදස්ථයින්ගෙන් ලද සහායෙන් තරමක් දුරට නිරාකරණය කර ගත් බව හැඟිණි. දින පාසලෙන් ලද දැනුම උපයෝගී කරගෙන ශ්‍රව්‍ය දෘශ්‍ය, මුද්‍රිත මාධ්‍ය, වීඩියේ පට, අන්තර් ක්‍රියාකාරී ඉගෙනුම් ද්‍රව්‍ය භාවිතය හා Hot potato වැනි මෘදුකාංග භාවිතයෙන් තක්සේරුකරණ උපකරණ නිර්මාණය කිරීමට පෙළඹුණු බව හැඟිණි. මෙවැනි මෘදුකාංග භාවිතයේ දී ස්වයං අධ්‍යයනය වඩාත් ඵලදායී වූ බව හැඟිණි.

මෙවැනි ඉගෙනුම් ද්‍රව්‍යයක් සකස් කිරීමට පූර්වයෙහි දැනුම ලැබී තිබුණේ නම් විෂයමාලාව සම්බන්ධව කටයුතු කිරීමේ දී ඉතා පහසුවෙන් හා ඵලදායීව කර ගත හැකිව තිබුණේ යැයි හැඟිණි. මාගේ ඉදිරි රාජකාරි කටයුතු සඳහා මෙවන් තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය සකස් කිරීම කළ යුතු බවත් ඒ පිළිබඳව ගුරු පුහුණු සැසි වලදී ගුරුවරුන්ට ද දැනුම ලබා දිය යුතු බවත් හැඟිණි. විශේෂයෙන්ම මිශ්‍ර ඉගෙනීම (blended learning) සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණලවලදී වඩා වැඩි නැඹුරුතාවක් දක්වන බැවින් මේ සම්බන්ධයෙන් මා ලබා ගත් දැනුම ඒ සඳහා යොදා ගැනීමට හැකි බවත් මා හට හැඟිණි.

 ඇමුණුම 1



ඇමුණුම 2



ඇමුණුම 3



 

 ඉගෙනුම් ඵලය 5

තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය ඇගයීම

දහවන ශ්‍රේණිය විද්‍යාව විෂයයට අයත් සෛලයේ ව්‍යුහය හා ඉන්ද්‍රයිකාවල කෘත්‍ය යන පාඩම තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍යයක් ලෙස සංවර්ධනය කරන ලද අතර එය ක්‍රියාත්මක කිරීමට අදාළ පාර්ශවකරුවන්ගෙන් ඇගයීම සිදු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව හැඟිණි. මීට පෙර තාක්ෂණයෙන් යුතු ඉගෙනුම් ද්‍රව්‍යයක් සකස් කර එහි ඇගයීම් ක්‍රියාවලියට සම්බන්ධවී නොතිබුණු බැවින් ඒ සඳහා ප්‍රමාණවත් දැනුමක් මා තුළ නොතිබුණු බව හැඟිණි. නමුත් දින පාසලෙන් ලද දැනුම හා  (ඇමුණුම 1) ඇගයීම පිළිබඳ ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සම්පත් ද්‍රව්‍ය පරිශීලනයෙන් ටයිලර්, අයිස්නර් හා කයිර්ගේ අකෘති පරිශීලනයෙන් අනතුරුව මෙවැනි ඉගෙනුම් ද්‍රව්‍යයක් ඇගයීම පිළිබදව ප්‍රමාණවත් දැනුමක් ලද බව හැඟිණි. සමපදස්ථ සාකච්ඡා හා ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ ඇති සාකච්ඡා මණ්ඩපවලින් (ඇමුණුම 2) ලද ප්‍රතිචාර අනුව ඉගෙනුම් ද්‍රව්‍ය ඇගයීමට ගුරුවරුන් සඳහා නිරීක්ෂණ පත්‍රිකාවක් (ඇමුණුම 3) හා සිසුන් සඳහා මාර්ගගත ප්‍රශ්නාවලියක් (google form) (ඇමුණුම 4) සකස් කළ යුතු බව හැඟිණි. ඒ අනුව සකස් කරන ලද තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍යයෙන් අපේක්ෂිත අරමුණු ඉටුවී ඇත්දැයි බැලීම එහි ඇති අඩු පාඩු මගහරවා ගැනීම, එය තවදුරටත් සංවර්ධනය කර ගැනීම අරමුණු කරගෙන ඇගයීම් උපකරණ සකස් කළ යුතු බව හැඟිණි. ඒ අනුව ප්‍රථමයෙන්ම ඇගයීම් සැලසුමෙහි ඇගයීම් ප්‍රශ්න සකස් කර ගත යුතු බවත්‍, ඒ අනුව නිර්ණායක හඳුනාගත යුතු බවත් හැඟිණි. මෙහිදී ඉගෙනුම් ද්‍රව්‍යයේ විෂය අන්තර්ගතය, තක්සේරුකරණය, අන්තර් ක්‍රියාකාරීත්වය, උපදේශන සැලසුම, අතුරුමුහුණත් පිළිබඳව අවධානය යොමු කළ යුතු බව හැඟිණි.

සිසුන් සඳහා සකස් කළ ඇගයීම් පත්‍රිකාව හා ගුරුවරුන් සඳහා සකස් කරන ලද නිරීක්ෂණ පත්‍රිකාව සාකච්ඡා මණ්ඩපයට යොමු කර සමපදස්ථයින් හා කථිකාචාර්යවරයාගේ උපදෙස් අනුව අදාළ සංශෝධන සිදු කළ යුතු යැයි හැඟිණි. සංශෝධනය කර ගත් නිරීක්ෂණ පත්‍රිකා ගුරුවරුන් 4 දෙනෙකුට, විෂය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුට සහ සිසුන් සඳහා සකස් කරන ලද ඇගයීම් පත්‍රිකා ඉංග්‍රීසි මාධ්‍ය සිසුන් 30 දෙනෙකුට තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍යත් සමඟ ලබා දීම උචිත යැයි හැඟුණි. ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රතිචාර ලබා ගන්නා ලද අතර සීමිත කාලයක් ලැබී තිබීම මෙහිදී අභියෝගයක් ලෙස හැඟුණි. තාක්ෂණයෙන් යුත් ඉගෙනුම් ද්‍රව්‍ය blog එකක් ලෙස සකස් කර ඇති බැවින් එය ස්වයං අධ්‍යයනයට ඉතා සුදුසු වුවත් එය අධ්‍යයනයට අන්තර්ජාලය අත්‍යාවශ්‍ය වීම ගැටළුවක් බව හැඟුණි. සමහර සිසුන්ට මාර්ගගතව google form එක සම්පූර්ණ කිරීමට නොහැකි වීම  නිසා එහි දෘඩ පිටපතක් ලබා දීමෙන් ප්‍රතිචාර ලබා ගත යුතු යැයි හැඟුණු අතර ඒ අනුව කටයුතු කරන ලදි. පාසල්වලදී තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා අඛණ්ඩ අන්තර්ජාල පහසුකම් නොමැති වීම හා අවශ්‍ය උපාංග (devices) නොමැති වීම ගැටළුවක් බව හැඟුණි. කෙසේ වුවත් සිසුන් ඔවුන් සතු උපාංග භාවිතයෙන් ස්වයං පෙළඹවීමකින් යුක්තව ඉගෙනුම් ද්‍රව්‍ය අධ්‍යයනය කරන ලද බව හැඟුණි.

ගුරුවරුන්ගෙන් හා සිසුන්ගෙන් ලබා ගත් දත්ත Excel මෘදුකාංගය භාවිතයෙන් විශ්ලේෂණයට ලක් කර ප්‍රස්ථාර හා වගු සකස් කර ගැනීම උචිත යැයි හැඟුණි. මෙහිදී ඉහත සඳහන් නිර්ණායක ඔස්සේ රැස් කරන ලද දත්ත විශ්ලේෂණයෙන් ලද වාර්තාව power point මෘදුකාංගය මගින් ඉදිරිපත් කිරීමක් ලෙස සකස් කිරීම යෝග්‍ය යැයි හැඟුණි. සිසුන් සඳහා සකස් කළ ප්‍රශ්නාවලියේ සරල ප්‍රශ්න වලට අමතරව විවෘතව පිළිතුරු සැපයිය හැකි ප්‍රශ්න තවදුරටත් ඇතුළත් කිරීමෙන් ඔවුන් ලබා දුන් ඝෘනාත්මක පිළිතුරුවලට හේතු ලබා ගත හැකිව තිබුණු බව හැඟිණි. කථිකාචාර්යවරයා අසන ලද ප්‍රශ්නවලදී මේ බව තවදුරටත් තහවුරු වුණි. ගුරුවරුන්ගෙන් හා සිසුන්ගෙන් ලද ප්‍රතිචාර අනුව සකස් කළ තාක්ෂණයෙන් යුත් ඉගෙනුම් ද්‍රව්‍යයේ අතුරු මුහුණතෙහි අකුරුවල ප්‍රමාණය හා වර්ණය පිළිබඳව තවදුරටත් සැළකිලිමත් විය යුතු බව හැඟිණි. මෙම ඉගෙනුම් ද්‍රව්‍යයට තවත් එක් තක්සේරුකරණ ක්‍රියාකාරකමක් එක් කිරීම ද සුදුසු බව හැඟුණි. සමස්තයක් ලෙස සකස් කරන ලද ඉගෙනුම් ද්‍රව්‍ය ස්වයං අධ්‍යයනය කළ හැකි, ආකර්ශනීය, ගුණාත්මයෙන් යුත් ඉගෙනුම් ද්‍රව්‍යයක් බව හැඟුණි.

ඉදිරියේදී විෂය සංවර්ධන වැඩසටහන්වලදී හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී මෙවැනි තාක්ෂණයෙන් යුත් ඉගෙනුම් ද්‍රව්‍ය සකස් කිරීමත්, ඒවා නියමිත පරිදි ඇගයීමට ලක් කර තවදුරටත් සංවර්ධනය කර ක්‍රියාත්මක කළ යුතු බවත් හැඟිණි. මෙම ක්‍රියාවලිය මාගේ රාජකාරි කටයුතුවල දී කෘෂි විද්‍යාව හා ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයන් සඳහා තාක්ෂණයෙන් යුතු ඉගෙනුම් ද්‍රව්‍ය සකස් කිරීමේදී ක්‍රියාත්මක කළ යුතු බව හැඟුණු අතර මේ සම්බන්ධයෙන් ගුරුවරුන්, ගුරු උපදේශකවරුන් හා විෂය අධ්‍යක්ෂවරුන් දැනුවත් කර ඔවුන්ගේ විෂය සංවර්ධන කටයුතුවලටත් මෙවැනි ක්‍රියාකාරකම් යොදා ගැනීමට අවශ්‍ය පහසුකම් හා මග පෙන්වීම සිදු කළ යුතු බවත් හැඟුණි.

 ඇමුණුම 1


ඇමුණුම 2

 


 ඇමුණුම 3


ඇමුණුම 4

 


 

 


No comments:

Post a Comment

මුල් පිටුව

  ඉගෙනුම පිළිබඳ කාර්ය සාධන ගොනුව STP9846                                               එච්. අයි. ඩී. ඩී. හෙට්ටිආරච්ච්චි 222492365 ගුරු අධ්...