මුල් පිටුව

දෙවන සමාසිකයේ සමස්ත ප්‍රත්‍යාවේක්ෂණය

 

2023.07.04

ගුරු අධ්‍යාපන විද්‍යාපති පාඨමාලාවේ දෙවන සමාසිකයේ සමාරම්භක දිනය 2023.078.04 දින ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේදී පැවැත්විණි. මෙහිදී දෙවන සමාසිකයේ පාඨමාලා වන ගුරු අධ්‍යාපනයා අධ්‍යාපන වෘත්තීයවේදියෙකු ලෙස (STP9543), ගුරු අධ්‍යාපනයා අධ්‍යාපන කළමනාකරුවෙකු හා නායකයෙකු ලෙස (STP9544), ගුරු අධ්‍යාපනයා අධ්‍යාපන පර්යේෂකයෙකු ලෙස (STP9545) හා ඉගෙනුම් කාර්ය සාධන ගොනුව (STP9846) යන පාඨමාලා පිළිබඳ හැඳින්වීමක් හා දෙවන සමාසිකයේ අධ්‍යයන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් කථිකාචාර්යවරුන් විසින් පැහැදිළි කරන ලදි. මෙහි දී පළමු සමාසිකයේ ගුරු අධ්‍යාපිතයන් විසින් සිදුවූ අතපසුවීම් හා ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය භාවිතයේ දී  සිදු කරන ලද වැරදි පිළිබඳව විස්තර කරන ලද අතර මීළඟ සමාසිකයේදී එම අතපසුවීම් හා වැරදි සිදු නොවිය යුතු බව පැහැදිළි කරන ලදි. මෙහි දී දින පාසලට පැමිණීමේ දී අධ්‍යයන කටයුතු සඳහා සූදානම්ව පැමිණිය යුතු බවත්, ඒ ඒ පාඨමාලා සඳහා ගුරු අධ්‍යාපිතයන් විසින් යෙදවිය යුතු කාලය පිළිබඳවත් පැහැදිළි කරන ලදි. ඒ අනුව දින පාසල වෙත පැමිණීමට පෙර, කාලය වැය කර අදාළ සියලුම සම්පත් ද්‍රව්‍ය පරිශීලනය කර ක්‍රියාකාරකම් සඳහා සූදානම්ව පැමිණිය යුතු බව වැටහිණි. එසේ නොකිරීමෙන් ඉගෙනුම් ඵල කරා ළඟා වීමේදී ඇතිවන ගැටළු පිළිබඳව ද වැටහීමක් ඇති විය.

ඉදිරියේ දී අධ්‍යයනය කිරීමට නියමිත පාඨමාලා වන STP9543, STP9544, STP9545 හා STP9846 යන පාඨමාලාවල ඉගෙනුම් ඵල හා කුඩා පරිමාණ ව්‍යාපෘති පිළිබඳව ද දැනුවත් කරන ලදි. පාඨමාලා අධ්‍යයනය නිසි සැලසුමක් ඇතිව කාල කළමනාකරණයකින් යුතුව සිදු කරන්නේ නම් අදාළ ව්‍යාපෘති සම්පූර්ණ කිරීමටත්, ඉගෙනුම් ඵල කරා ළඟා වීමටත් ගැටළුවක් ඇති නොවන බව හැඟුණි. විශේෂයෙන්ම දෙවන සමාසිකයේ දී ද ඉගෙනුම් කාර්ය සාධන ගොනුවක් පවත්වා ගෙන යාම හා එය මාර්ගගතව පවත්වාගෙන යාමේ වැදගත්කම ද පැහැදිළි කරන ලදි. ප්‍රත්‍යාවේක්ෂණය ඒ ඒ දිනවලදී සිදු කර සකස් කර ඇති මාර්ගගත කාර්ය සාධන ගොනුවට ඇතුළත් කිරීම කළ යුතු බව වැටහුණි.

සමාරම්භක දිනයේ දී ලද උපදෙස් හා පළමුවන සමාසිකයේ දී ලද අත්දැකීම් අනුව පාඨමාලාවේ ඉගෙනුම් ඵල කරා ළඟා වීමට එදිනෙදා කාර්යයන් ඉටු කිරීමටත්, නිසි ලෙස කාල කළමනාකරණයකින් යුතුව සැලසුමකට අනුව කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගතිමි.

2023.07.08

ගුරු අධ්‍යාපනඥයා වෘත්තිකයෙකු ලෙස (STP9543)

ගුරු වෘත්තීයභාවයේ ලක්ෂණ පිළිබඳව එක් එක් විද්වතුන් ඉදිරිපත් කරන ලද නිර්වචන පිළිබඳව ප්‍රථමයෙන් අවබෝධයක් ලබා ගන්නා ලදි. එහිදී ගුරු වෘත්තීයභාවයේ ලක්ෂණ ලෙස ප්‍රධාන වශයෙන් නිපුණතාව, කාර්ය සාධනය, ඉලක්ක, හැකියාවන් හා ප්‍රමිති පිළිඹිබු කරන ආකාරයේ හැසිරීම වශයෙන් හඳුනා ගන්නා ලදි. දෙවනුව ගුරුවරුන්ගේ භූමිකාව, වගකීම් සහ අයිතිවාසිකම් පිළිබඳව දෙන ලද සම්පත් ද්‍රව්‍ය අධ්‍යයනයෙන් හා සමපදස්ථ සාකච්ඡාවලින් අදහසක් ලබා ගන්නා ලදි. ගුරුවරුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අධීක්ෂණයේදීත්, පුහුණු කිරීමේදීත්, නියාමනයේදීත් ගුරු භූමිකාව, වගකිම් හා අයිතිවාසිකම් පිළිබඳව නිවැරදි වැටහීමක් තිබිම අත්‍යාවශ්‍ය බවත් හැඟුණි.

එසේම ගුරුවරුන්‌ෙග් වෘත්තීය සංවර්ධනය අත්‍යාවශ්‍ය ක්‍රියාවලියක් බවත් එය යාවජීව හා අඛණ්ඩව පවත්වාගෙන යායුතු බවත් වැටහුණි. ගුරු වෘත්තීය සංවර්ධනය ගුරුවරුන්ට නව දැනුම හා තාක්ෂණය ලබා ගැනීමටත්. පැරණි දැනුම යාවත්කාලීන කර ගැනීමටත්, ශික්ෂණ ශාස්ත්‍රය, ක්‍රමවේද හා පර්යේෂණ හා සොයා ගැනීම්, ඉගෙනුම සඳහා මාධ්‍ය යොදා ගැනීම පිළිබඳ කුසලතා ලබා ගැනීමටත් වැදගත්වේ. තවද පද්ධතිවලට හඳුන්වාදෙන නව ප්‍රතිපත්ති, චක්‍රලේඛ ආදිය පිළිබඳව යාවත්කාලීන වූ දැනුම ලැබී තිබීම ඉතා වැදගත් බව හැඟුණි. මේ අනුව පූර්ව සේවා ගුරු පුහුණුවට අමතරව අඛණ්ඩ ගුරු සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඵලදායී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය බව වැටහුණි. අඛණ්ඩ ගුරු සංවර්ධන වැඩසටහන් භෞතිකව, දුරස්ථව හෝ මාර්ගගතව පැවැත්විය හැකිය.

එමෙන්ම ගුරුවරයෙකු වශයෙන් වර්ධනය කර ගත යුතු කුසලතා පිළිබඳවත් ඒවා වර්ධනය කර ගන්නා ආකාරය පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් දින පාසලේදී ලබා ගන්නා ලදි. දින පාසලේදී සිදු කරන ලද කණ්ඩායම් ක්‍රියාකාරකම්වලදී අප විසින් ගුරුවරයා තාක්ෂණ දැනුමෙන් හෙබි, යාවත්කාලීනවූ දැනුම සහිත සහකම්පනයෙන් යුත්, මාර්ගෝපදේශකයෙකු හා උපදේශක කාර්යයයේ නියැලීමට හැකි නිර්මාණශීලී ගුරුවරයෙකු විය යුතු බව හඳුනා ගන්නා ලදි. මෙහිදී ඒ සඳහා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ද වැටහීමක් ඇති කර ගන්නා ලදි.

2012/31 චක්‍රලේඛයට අනුවද ගුරුවරයා කෙසේ හැසිරිය යුතුද යන්න පිළිබඳව තවදුරටත් නිවැරදි වැටහීමක් ඇති විය. මෙහිදී වෘත්තීයමය ගුරුවරයෙකු වීම හා පන්ති කාමරය කළමනාකරණය කර ගන්නා ආකාරය පිළිබඳ වීඩියෝපටය නැරඹීමෙන් තවදුරටත් ලබා ගත් දැනුම තහවුරු කර ගත් බව හැඟුණි.

 

2023.07.09

ගුරු අධ්‍යාපනඥයා පර්යේෂකයෙකු ලෙස (STP9545)

දින පාසලේදී පර්යේෂණය යන්නෙහි නිර්වචනය අපට හැඟෙන ආකාරයට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන් අතර එමගින් කථිකාචාර්යවරයා විසින් නිර්වචනයක් ගොඩ නංවන ලදි.  පර්යේෂණයකදී විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කළ යුතු බවත්, පර්යේෂණයකදී ගැටළුවක් තිබීම, එය විසදීමට ක්‍රියාමාර්ග හඳුනා ගැනීම, වඩාත්ම ගැලපෙන විසදුම තොරා ගැනීම හා ගැටළුවට විසදුම ලබා දීමට යෝජනා ඉදිරිපත් කිරීම සිදු කළ යුතු බව පැහැදිළි විය. පර්යේෂණයක ප්‍රධාන ලක්ෂණ හා පියවර නිවැරදිව හඳුනා ගැනීමට දින පාසලේදි සිදු කරන ලද මග පෙන්වීම් වැදගත් විය. පර්යේෂණ ප්‍රවේශ ලෙස ප්‍රමාණාත්මක, ගුණාත්මක හා මිශ්‍ර පර්යේෂණ පිළිබදව දැනුම හා අවබෝධය දින පාසලේදී ඉදිරිපත් කරන ලද සම්පත් ද්‍රව්‍ය හා සමපදස්ථ සාකච්ඡාවලින් ලබා ගන්නා ලදි.

පර්යේෂණ ක්‍රමයක් තෝරා ගැනිමේදි අධ්‍යයනයේ අරමුණු, නියැදියේ ස්වභාවය, ගති ලක්ෂණ, නියැදිකරණ ක්‍රමය, ලබා ගැනීමට අපේක්ෂිත දත්තවල ස්වභාවය, දත්ත රැස් කිරීමේ ක්‍රම ශිල්ප, දත්ත විශ්ලේෂණය කරන ආකාරය හා පර්යේෂණය ඉදිරිපත් කරන ආකාරය පිළිබඳව සැලකිලිමත් විය යුතු බව හඳුනා ගන්නා ලදි. ඉන් පසු පාසල් පද්ධතියේ පවතින ගැටළුවක් හඳුනා ගෙන ඒ සඳහා පර්යේෂණ මාතෘකාවක් සකස් කිරීමටත්, ඒ අනුව අරමුණු සකස් කර ගන්නා ආකාරය පිළිබඳව අවබෝධයත් ලබා ගන්නා ලදි. කණ්ඩායම් ක්‍රියාකාරකම් හා සමපදස්ථ සාකච්ඡා මගින් අප සකස් කරන ලද පර්යේෂණ මාතෘකා හා අරමුණුවල සංශෝධන සිදු කර ගන්නා ලද අතර මෙහිදී කථිකාචාර්යවරයාගේ මග පෙන්වීම ඉතා වැදගත් විය.

පර්යේෂණයක් සිදු කිරීමේදී සාහිත්‍ය විමර්ශනය ඉතාමත් වැදගත් බවත් නිවැරදිව සාහිත්‍ය විමර්ශනය කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් දැනුම ලබා ගන්නා ලදි. මෙහිදී ප්‍රථමයෙන්ම න්‍යායාත්මක පදනම විස්තර කර මාතෘකාව සම්බන්ධ කළ යුතු බවත්. දෙවනුව ආනුභාවික විමර්ශනය අරමුණු අනුව සකස් කර සිදු කළ යුතු බවත් අවබෝධ කර ගන්නා ලදි. සාහිත්‍ය විමර්ශනයේදී මූලාශ්‍ර තෝරා ගැනීමේදී මෑත කාලීන ප්‍රකාශන තෝරා ගැනීමත් ඒවායේ ගුණාත්මක බව පිළිබඳවත් සැළකිලිමත් විය යුතු බවත් අවබෝධ කර ගන්නා ලදි. අවසාන වශයෙන් ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය AP7 ආකෘතියට අනුව සකස් කරන ආකාරය පිළිබඳ පැහැදිලි වැටහීමක් ලබා ගැනීමට ඒ සඳහා ක්‍රියාකාරකම් සිදු කරන ලදි. මේ අනුව දින පාසලේ දී සාහිත්‍ය විමර්ශනය හා ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය සකස් කිරීම පිළිබඳ නිවැරදි වැටහීමක් ඇතිවූ බව හැඟුණි.

 

2023.08.05

ගුරු අධ්‍යාපනඥයා අධ්‍යාපන කළමනාකරුවෙකු හා නායකයෙකු ලෙස (STP9544)

කුමක්ද?

අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙකු වශයෙන් මා හට නායකත්වය, ගැටළු විසදීම, තීරණ ගැනීම පිළිබඳ නිවැරදි දැනුම හා කුසලතා ලබා ගැනීම අත්‍යාවශ්‍ය වන බව හැඟුණි. පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හැදෑරීම හා ධාරිතා සංවර්ධන වැඩසටහන්වලට සහභාගී වීමෙන් කළමනාකරණය පිළිබඳ යම් න්‍යායාත්මක දැනුමක් ලබා තිබූ බව හැඟුණ ද, ඉදිරියේදී රාජකාරි කටයුතුවලට මීට වඩා න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා ගත යුතු බව හැඟුණි.

ඉතින් කුමක්ද?

දින පාසලේදී දී ඇති සිද්ධි අධ්‍යයනයෙන් (ඇමුණුම 1) ගැටළු හඳුනා ගෙන එම ගැටළුවලට හේතු හඳුනා ගැනීමටත් ඒවා විසදීමට ගත යුතු උපාය මාර්ග හඳුනා ගැනීමටත් හැකිවූ බව හැඟුණි. කණ්ඩායම් ක්‍රියාකාරකම්වල යෙදීමෙන් (ඇමුණුම 2) ගැටළු විශ්ලේෂණය කර නිවැරදි තීරණවලට එළඹීම සඳහා යම් කුසලතාවක් ලැබුණු බව හැඟුණි. තම ආයතනය තුළ ඇතිවන ගැටළු විසදීම සඳහා තීරණ ගැනීමේ දී වැඩසටහන්ගත තීරණ හා වැඩසටහන්ගත නොවන තීරණ ගන්නා ආකාරය අධ්‍යයනය කිරීමට අවස්ථාව ලද බව හැඟුණි. කානගී ආකෘතිය පිළිබඳවත්, තීරණ ගැනීමේ උපාය මාර්ග පිළිබඳවත් දින පාසලේ සම්පත් ද්‍රව්‍ය  අධ්‍යයනයෙන් (ඇමුණුම 3) ලද දැනුම වැදගත් වන බව හැඟුණි. කළමනාකරණය හා එහි න්‍යායාත්මක පදනම පිළිබඳවත්, කළමනාකරණයේ පියවර පිළිබඳවත් පැහැදිළි අවබෝධයක් ලබා ගත් බව හැඟුණි. නායකත්වය පිළිබඳ ආකෘති හා කළමනාකරණ දැලිස පිළිබඳව කථිකාචාර්යවරයා සිදු කරන ලද පැහැදිලි කිරීම් හා ඒ පිළිබඳ දැනුම වර්ධනයට ඉවහල්වූ බව හැඟුණි. නායකත්ව වටිනාකම් හා ආචාර ධර්ම පිළිබඳව තවදුරටත් හැදෑරිය යුතු යැයි හැඟුණි.

දැන් කුමක්ද?

අප සේවය කරන ආයතනයේ ගැටළු හඳුනා ගැනීම, තීරණ ගැනීම හා ගැටළු විසදීම සඳහා උපායමාර්ග හඳුනා ගැනීම මෙන්ම කළමනාකරණය, නායකත්වය හා නායකතත්ව ගුණාංග, වටිනාකම් හා ආචාර ධර්ම පිළිබඳව පැහැදිලි අවබෝධයක් දින පාසල අවසානයේ ලබා ගැනීමට හැකිවූ  බව හැඟුණි. පළමුවන කුඩා පරිමාණ ව්‍යාපෘතිය සාර්ථකව සම්පූර්ණ කිරීම සඳහා දින පාසලේ ක්‍රියාකාරකම් ඉවහල්වන බව හැඟුණි. තවදුරටත් නායකත්වය හා කළමනාකරණය පිළිබඳව අධ්‍යයනය කළ යුතු යැයි හැඟුණි. ඉදිරි රාජකාරි කටයුතුවලදී දින පාසලෙන් ලබා ගත් දැනුම මහඟු උපකාරයක්වේ යැයි හැඟුණි.

 

 

 

2023.08.13

ඉගෙනුම් කාර්ය සාධන ගොනුව (STP9846)

කුමක්ද ?

පළමුවන සමාසිකයේ ලද දැනුම හා කුසලතා අනුව ඉගෙනුම් කාර්ය සාධන ගොනුව සකස් කර ඉදිරිපත් කළද එහි නිරවද්‍යතාව පිළිබඳ ගැටළු මා තුළ තිබූ බව හැඟුණි. කුමක්ද?, ඉතින් කුමක්ද? හඒා දැන් කුමක්ද? වශයෙන් අනු මාතෘකා යටතේ ප්‍රත්‍යාවේක්ෂණයේ යෙදී නොතුබූ බව හැඟුණි. ඒ අනුව ප්‍රත්‍යාවේක්ෂඛය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තවදුරටත් ලබා ගත යුතු යැයි හැඟුණි.

ඉතින් කුමක්ද?

දින පාසලේ කථිකාචාර්යවරයා විසින් අපගේ පළමුවන සමාසිකයෙකයේ ප්‍රත්‍යාවේක්ෂණ පිළිබඳව  උදාහරණ සහිතව ප්‍රබලතා හා දුබලතා ඉදිරිපත් කරන ලද බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව වැටහුණි. කුමක්ද?, ඉතින් කුමක්ද? හා දැන් කුමක්ද? යන අනු මාතෘකා යටතේ ප්‍රත්‍යාවේක්ෂණයේ යෙදෙන ආකාරය නිදසුන් සහිතව පැහැදිලි කර දුන් බැවින් නිවැරදිව ප්‍රත්‍යාවේක්ෂණයේ යෙදීම පිළිබඳව කුසලතා අත්පත් කර ගත් බව හැඟුණි. ප්‍රත්‍යාවේක්ෂණ  ඉලෙක්ට්‍රොනික කාර්ය සාධන ගොනුවක් පෙස ඉදිරිපත් කළ යුතු බවත්, ඒ සඳහා යොදා ගත හැකි මෘදුකාංග පිළිබඳවත් කරන ලද දැනුවත් කීරීම් ඉතා වැදගත් වූ බව හැඟුණි. ඒ අනුව google site හා blogger යන මෘදුකාංග යොදා ලත හැකි බව වැටහුණි. මේ වන විටත් මා ඉගෙනුම් කාර්ය සාධන ගොනුව blogger ආධාරයෙන් සකස් කර ඇතත් google site පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත් බවත් වැටහුණි.

දැන් කුමක්ද?

නිවැරදිව ප්‍රත්‍යාවේක්ෂණයේ යෙදීමේ නිපුණතා අත්පත් කර ගත් බවත්, දෙවන සමාසිකයේ ඉගෙනුම් ඵල අත්පත් කර ගැනීම පිළිබඳව නිවැරදිව ප්‍රත්‍යාවේක්ෂණයේ යෙදීමටත්, පළමුවන සමාසිකයේ ප්‍රත්‍යවේක්ෂණ නිවැරදි කර ගැනීමටත් අධිෂ්ඨාන කර ගතිමි. එමෙන්ම මා blogger අඉගෙනුම් කාර්ය සාධන ගොනුව සකස් කර තිබුණද, google site මගින් ද ඉගෙනුම් කාර්ය සාධන ගොනුව සකස් කිරීමටඅත්හදා බැලීමටත් හැකිවේ යැයි හැඟුණි. ලබා ගත් තාක්ෂණික දැනුම හා කුසලතා මාගේ සේවා ආයතනයේ නිලධාරීන්ට ද ලබා දීමට හැකියාවක් මා තුළ ඇතැයි හැඟුණි.

 

 

2023.08.20

ගුරු අධ්‍යපනඥයා වෘත්තිකයෙකු ලෙස  (STP9543)

කුමක්ද?

ගුරු අධ්‍යපනඥයා වෘත්තිකයෙකු ලෙස යන පාඨමාලාවේ පළමුවන කුඩා පරිමාණ ව්‍යාපෘතියට අදාළව වෘත්තිය, වෘත්තිය ආයතන පිළිබඳ හා ගුරුවරුන්ගේ ගත් ලක්ෂණ, ප්‍රමිති හා ආචාර ධර්ම පිළිබඳව අධ්‍යයනය කොට ප්‍රමාණවත් දැනුමක් ලබාගෙන ඇතැයි මා හට හැඟුණි. නමුත් තවදුරටත් වෘත්තිය සංවිධාන පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතුව ඇතැයි හැඟුණි.

ඉතින් කුමක්ද?

දින පාසලේදී වෘත්තියක් යන්න හා වෘත්තීය සංවිධාන පිළිබඳව සමපදස්ථයන් සමඟ සාකච්ඡා කිරීමෙන් ශ්‍රී ලංකාවේ සංවිධානවල ප්‍රබලතා, දුබලතා මෙන්ම වෘත්තිය ආයතනයක කාර්ය භාරය පිළිබඳව පුළුල් දැනුමක් ලැබුණු බව හැඟුණි. තවදුරටත් විවිධ රටවල වෘත්තිය සංවිධාන හා ලංකාවේ වෙනත් වෘත්තිය සංවිධ‌ානවල ක්‍රියාකාරකම්, මැදිහත්වීම් හා කාර්යභාරය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව වැටහුණි. කණ්ඩායම් ක්‍රියාකාරකම්වලදී පාසලක ගුණාත්මකභාවය පවත්වා ගැනීමට වැදගත් වන නීති හා ඒවායේ ක්‍රියාත්මක භාවය පිළිබඳවත් කරුණු අනාවරණය කර ගැනීමට හැකිවූ  ව හැඟුණි. පාසල් සංවර්ධනය සඳහා සමාජ, ආර්ථික හා දේශපාලන අභියෝග කළමනාකරණය කරන ආකාරය පිළිබඳවත් යම් කිසි වැටහීමක් ඇතිවූ බව හැඟුණි.

දැන් කුමක්ද?

දෙවන කුඩා පරිමාණ ව්‍යාපෘතිය සිදු කිරීමේ දී පාසලක දේශපාලන, ආර්ථික හා සමාජීය අභියෝග පිළිබඳව තව දුරටතක් අධ්‍යයනය කළ යුතු බවටත් ඒ සඳහා පාසලකට ගොස් බඅවබෝධයක් ලබා ගත යුතු බවත් වැටහුණි. එම අභියෝග කළමනාකරණය කිරීම සඳහා අරම්නු සකසම් කිරීමට හා එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා උපාය මාර්ග හඳුනාගෙන ක්‍රියාකාරකම් සැලසුම් කිරීම දෙවන කුඩා පරිමාණ ව්‍යාපෘතියේ දී සිදු කිරීමට හැකි වේ යැයි හැඟුණි.

 

2023.09.03

ගුරු අධ්‍යාපනඥයා පර්යේෂකයෙකු ලෙස (STP9545)

කුමක්ද?

ගුරු අධ්‍යාපනඥයා පර්යේෂකයෙකු ලෙස පාඨමාලාවේ පළමුවන කුඩා පරිමාණ ව්‍යාපෘතිය සකස් කර අවසන් වුව ද, තවදුරටත් පර්යේෂණ පිළිබඳව දැනුම ලබා ගත යුතුව ඇතැයි හැඟුණි. පර්යේෂණයක් කිරීමේ දී ගැටළුවක් තෝරා ගැනීම, අරමුණු සකස් කර ගැනීම, සාහිත්‍ය විමර්ශනය හා ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය සකස් කිරීම පිළිබඳ යම් අවබෝධයක් ලැබී ඇතැයි හැඟුණි. නමුත් පර්යේෂණ පිරිසැලසුම්, නියැදිකරණය හා පර්යේෂණ යෝජනාවක් සකස් කිරීම පිළිබඳ දැනුම තවදුරටත් ලබා ගත යුතු බව වැටහුණි.

ඉතින් කුමක්ද?

පර්යේෂණය සඳහා තෝරාගත් ගැටළුව හැඳින්වීම, පසුබිම ඉහා පර්යේෂණයේ වැදගත්කම, සාහිත්‍ය විමර්ශනය හා ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය සකස් කිරීම පිළිබඳ කථිකාචාර්යවරයා නැවත පැහැදිලි කරන ලද බැවින් මා විසින් සිදු කරන ලද වැරදි පිළිබඳව හා ඒවා නිවැරදි කර ගන්නා ආකාරය පිළිබඳව අවබෝධයක් ලද බව හැඟුණි. පර්යේෂණ ප්‍රවේශ වශයෙන් ගුණාත්මක, ප්‍රමාණාත්මක හා මිශ්‍ර ප්‍රවේශත්, විශේෂයෙන්ම මිශ්‍ර ප්‍රවේශ  නිවැරදිව යොදා ගන්නා ආකාරයත් දින පාසලේ දේශන හා සාකච්ඡා මගින් මා හට වැටහුණි. පර්යේෂණ ප්‍රවේශ හා පර්යේෂණ පිරිසැලසුම් අතර පවතින වෙනස පෙරදී මා හට අවබෝධවී නොතිබූ අතර දින පාසලේදී ලද අත්දැකීම් මගින් පර්යේෂණ පිරිසැලසුම් වර්ග හා ඒවායේ අනු කොටස් පිළිබඳව නිවැරදි වැටහීමක් ලබා ගැනීමට හැකිවූ බව හැඟුණි. මාගේ පර්යේෂණය සඳහ‌ා සමීක්ෂණ පිරිසැලසුම යොදා ගැනීමට හැකි බව හැඟුණි.

නියැදිකරණයේදී සැලකිය යුතු කරුණු, නියැදිකරණයේ පියවර හා ගුණාත්මක නියැදියක ලක්ෂණ ආදිය පිළිබඳව සිදු කරන ලද දැනුවත් කිරීම් මගින් පැහැදිලි අවබෝධයක් ලබා ගත් බව හැඟුණි. නියැදි වර්ග පිළිබඳව අධ්‍යයනයෙන් පසුව මා විසින් සිදු කරනු ලබන පර්යේෂණය සඳහා පොකුරු අහඹු නියැදිකරණය යොදා ගැනීමට හැකිවේ යැයි හැඟුණි. එනම් පාසල්වල ජ්‍යෙෂ්ඨ ද්විතියික ශ්‍රේණිවල ගුරුවරුන් නිවාඩු ලබා ගැනීමට බලපාන සාධක පිළිබඳ අධ්‍යයනය සඳහා පාසල් තෝරා ගැනීමේ දී කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල 1AB, 1C හා Type 2 පාසල් 3ක් බැගින් ගෝරා ගැනීම සඳහා පොකුරු අහඹු නියැදිකරණය තෝරා ගැනීමට හැකියාව ඇතැයි හැඟුණි. දත්ත රැස් කිරීම, දත්ත රැස් කිරීමේ උපකරණ සකස් කිරීම සකස් කිරීම හා දත්ත විශ්ලේෂණය පිළිබඳ තවදුරටත් හැදෑරීමට අවශ්‍ය බව වැටහුණි. පර්යේෂණ යෝජනාවක් සකස් කළ යුතු නිවැරදි ආකාරය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කළ යුතු යැයි හැඟුණි.

දැන් කුමක්ද?

දින පාසලේ දී කථිකාචාර්යවරයාගෙන්, සමපදස්ථ සාකච්ඡාවලින් හා කණ්ඩායම් ක්‍රියාකාරකම්වලින් පර්යේෂණ සිදු කිරීම හා පර්යේෂණ යෝජනා සකස් කිරීම පිළිබඳ ලබා ගත් දැනුම තවදුරටත් පුළුල් කර ගත යුතු බවත්, එමගින් මෙම පාඨමාලාවට අදාළ පර්යේෂණ සාර්ථක කර ගැනීමට හැකිවේ යැයි හැඟුණි. එමෙන්ම තවදුරටත් පර්යේෂණ පිළිබඳව හැදෑරීමටත්, ලබා ගන්නා දැනුම රාජකාරී කටයුතු වලදී යොදා ගැනීමටත් මා හට හැකියාවක් ඇතැයි හැඟුණි.

 

 

 

 

 

 


No comments:

Post a Comment

මුල් පිටුව

  ඉගෙනුම පිළිබඳ කාර්ය සාධන ගොනුව STP9846                                               එච්. අයි. ඩී. ඩී. හෙට්ටිආරච්ච්චි 222492365 ගුරු අධ්...